පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතියයේ (ESCAMP) 2 (බී) උප සංරචකය යටතේ ශ්‍රී ලංකාවේ සංවර්ධනයට මෙන්ම සංරක්ෂණයට බරපතළ ගැටළුවක් ලෙස වර්ධනයවී ඇති “අලි මිනිස් ගැටුම” අවම කිරීම පිණිස තිරසාර වැඩ පිළිවෙළක් දියත් කිරීමට සැලසුම් කර ඇත. මෙම ගැටුම බරපතළ ලෙස පවතින කුරුණෑගල සහ අනුරාධපුර යන පරිපාලන දිස්ත්‍රික්ක දෙක තුල ආරම්භයේදී ක්‍රියාත්මක කරනු ලබන මෙකී වැඩසටහන මගින්, එහි සාර්ථකත්වය මත පසුව දිවයිනේ “අලි මිනිස් ගැටුම” පවතින අනෙකුත් ප්රදේශවලද ක්‍රියාත්මක කල හැකි ආයතනීකරණයක කරන ලද මොඩලයක් (Institutionalized Model) හඳුන්වාදීම මෙහි අරමුණයි. ගම්මාන ආරක්ෂා කිරීම සඳහා ස්ථිර ගම්මාන වැටද, වී වගාව සිදු කෙරෙන කුඹුරු ආරක්ෂා කිරීමට තාවකාලික වගා වැටද ප්‍රජා සහභාගීත්ව නඩත්තු ක්‍රමවේදයක් යටතේ ප්‍රජාවගේ ශ්‍රම දායකත්වයෙන් ඉදි කිරීමට අවශ්‍ය උපකරණ පමණක් ව්‍යාපෘතියේ ප්‍රතිපාදන මගින් සපයා දෙනු ඇත. එයට අමතර වශයෙන් ජීවනෝපාය සංවර්ධන වැඩසටහන්ද ඊට සමගාමීව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ස්ථිර ගම්මාන වැට ප්‍රාදේශීය ලේකම්ගේ අධීක්ෂණයටත් තාවකාලික වගා වැට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයටත් යටත් වනු ඇත. මීට අවශ්‍ය තාක්ෂණික සහය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබා දෙනු ලැබේ.
“අලි මිනිස් ගැටුම” යන වදන් පෙළ ඇසුණු සැනින් අපට හැඟෙන දෑ වචන වලින් විස්තර කල නොහැකි තරම්ය. එය ඒ තරම් බියකරුය, අප්රසන්නය. එහෙත් ඒ බියකරු මෙන්ම අප්‍රසන්න ගැටුම අරම්භ වූයේ හිතාමතාම හෝ එසේ නොමැතිව මිනිස් අපගේම අතින් සිදුවූ යම් දෝෂයන් නිසා බව පිළිගැනීමට අපි මැළිකමක් දක්වන බව රහසක් නොවේ. මෙම ලිපියේ අරමුණ අලින්ගෙන් පීඩා විඳින මිනිස් ප්‍රජාවට චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීම නොවේ. මිනිස් ප්‍රජාව ඵලදායි සංරක්ෂණ ක්‍රියාවලියකට දායක කරගනිමින් මෙම ගැටලුව, ග්‍රාමීය ප්‍රජාව මුහුණපා ඇති දුගිදුප්පත්භාවය නමැති ගැටලුවට විසඳුමක් කරගත හැකි ආකාරය විමසා බැලීමයි.
“අලි මිනිස් ගැටුම” – වත්මන් තත්ත්වය
අද වනවිට වන අලින්ගෙන් මිනිසාට සිදුවන හානි තුන් ආකාරයකි. ශාරීරික හානි (ජිවිත හානි සහ තුවාල සිදු කිරීම්), දේපොළ හානි සහ වගා හානි එම තුන් ආකාරයයි. වන අලින්ට මිනිසාගෙන් සිදුවන හානි ලෙස ශාරීරික හානි පමණක් සැලකුවද වාසස්ථාන අහිමි වීම ඔවුනට මුහුණපෑමට සිදුවන විශාල හානියක් බව කතාබහට ලක් නොවන තරම්ය. අලි මිනිස් ගැටුම හේතුවෙන් වසරකදී සිදුවන මිනිස් මරණ සංඛ්‍යාව 80-100 අතර වේ. ශාරීරික හානි සිදුවීම් 60-80 අතර සංඛ්‍යාවක් වාර්ෂිකව සිදුවන අතර දේපොළ හානි 1000-1200 පමණ වාර්තා වේ. එසේම වන අලි මරණ 280-320 පමණද වාර්ෂිකව සිදුවන බව සංඛ්‍යාලේඛණ අනුව පෙනීයයි. පොලොන්නරුව, නැගෙනහිර, අනුරාධපුර, දකුණ, වයඹ, ඌව යන වනජීවී කලාප මිනිස් මරණ වැඩි වශයෙන් සිදුවන ප්‍රදේශ වන අතර පොලොන්නරුව, නැගෙනහිර, අනුරාධපුර, ත්‍රිකුණාමලය, දකුණ, ඌව, වයඹ, වව්නියා යන වනජීවී කලාප අලි මරණ වැඩි වශයෙන් සිදුවන ප්‍රදේශ වේ.
“අලි මිනිස් ගැටුම” සංරක්ෂණ ගැටළුවක් බවට මුල්බැසගෙන ඇති මතවාදය අනුව මෙම ගැටළුව විසඳීමේ පුර්ණ වගකීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇත. වනජීවී සංරක්ෂණ මුලධර්ම අනුව මෙම ගැටුම පාලනය කිරීම සඳහා ක්‍රියා කිරීමේදී වනඅලින් සඳහා ආහාර, ජලය හා ආවරණය වැඩි කිරීමේ අවස්ථා සොයා බැලිය යුතු අතර ඔවුනට සිදුවන විවිධ අනතුරු අවම කරලීමට හා අනතුරට පත් සතුන් වෙනුවෙන් සෞඛ්‍ය පහසුකම් සැලසීමද අවධානයට ගැනීමට සිදුවේ.
ශ්‍රී ලංකාවේ වනවැස්ම එක් ආයතනයක පාලනය යටතේ පවතින්නක් නොවේ. වනඅලින් තම පැවැත්ම සඳහා මෙම විවිධ ආයතන යටතේ පවතින වනාන්තර භාවිත කරන අතර ගම්මාන හා ගොවිබිම් වලටද නිරතුරුව පිවිසෙනනේ තමන් වඩාත් ප්‍රිය කරන ආහාර එහිදී පහසුවෙන් ලද හැකි බැවිනි. මෙවන් තත්වයක් මත වනජීවී සංරක්ෂණ මුලධර්ම අනුව මෙම ගැටුම පාලනය කිරීම සඳහා ක්‍රියා කිරීම ප්‍රායෝගිකව අපහසුය. දශක කිහිපයක් තිසසේ අලි මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා ක්‍රියාත්මක කරන ලද අලි පලවා හැරීම්, අල්ලා ඉවත් කිරීම්, අලි වෙඩි බෙදාහැරීම, රක්ෂිත වටා විදුලි වැට ඉදි කිරීම හා වාසස්ථාන සුපෝෂණය වැනි කළමනාකරණ උපායයන් තුලින් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට සමත්ව නොමැති බැව් වසරින් වසර ඉහල යන අලි මරණ හා මිනිස් මරණ මෙන්ම දේපළ හානි අනුව ප්රත්යක්ෂ වේ. විශේෂයෙන්ම දිවයිනේ සමස්ත වනගහණය රජයේ දෙපාර්තමේන්තු දෙකක් යටතේ පාලනය වන වාතාවරණයක් යටතේ විදුලිවැට මගින් වනජීවී රක්ෂිත තුලට පමණක් වනඅලි සීමා කිරීමට ගත් ප්රයත්නය තවතවත් ගැටළුව තීව්ර කිරීමට හේතුවූ බව අද වනවිට පැහැදිලිවී තිබේ. අලි බාධකයක් ලෙස වඩා වැඩි විශ්වාසයක් තබා තිබූ විදුලි වැට යන මෙවලම පහසුවෙන් අභිබවා යාමට වන අලින්ට හැකිවීම ඊට එක් නිදසුනකි.
මෙම තත්ත්වය අවබෝධ කර ගැනීමෙන් තොරව තවදුරටත් පෙරකී උපායමාර්ගයන්ම අනුගමනය කිරීමෙන් සිදුවනුයේ විශාල වශයෙන් ජාතික ධනය අපතේ යාමත්, වනඅලි සම්පත දිනෙන් දින විනාශවී යාමත් පමණි. එසේ වීමෙන් පරිසර පද්ධතියට අත්‍යවශ්‍ය සාමාජිකයෙකු මෙන්ම මෙරටට සංචාරක ව්‍යාපාරය හරහා විදේශ විනිමය උපයාදෙන මහඟු සම්පතක් වන වනඅලි සම්පතද ඉතා කෙටිකලකින් මෙරටින් තුරන්ව යනු ඇත. අප ඉතා ප්රවේසම්ව නිසි කළමනාකරණ ක්‍රමවේදයන් තෝරා නොගතහොත් එම ඉරණම රටේ ඉදිරි සංවර්ධන ක්‍රියාවලියට මෙන්ම පරිසරයටද අහිතකර ලෙස බලපානු ඇත.
“අලි මිනිස් ගැටුම” ආපදාවක් ලෙස …..
ආපදාවක් (Disaster) යනුවෙන් අදහස් කරනුයේ “විශාල විනාශයක් හෝ ජිවිත හානියක් සිදුවන ආකාරයේ යම් හදිසි අනතුරක් හෝ ස්වභාවික ව්‍යසනයක්” වේ. සාමාන්‍යයෙන් ආපදා කළමනාකරණයේදී මානව කේන්ද්‍රිය ප්‍රවේශයක් අනුගමනය කරමින් ඒවා ඇගයීමට ලක් කෙරෙන අතර නිර්ණායක 06ක් උපයෝගී කර ගනිමින් එය සිදු කරයි. (Impact time, Fatality, Casualty, Relative Financial Damage, Human Development Index (HDI) and Disaster Risk Index (DRI) එම නිර්ණායක 06යි). කෙසේ වුවද, 2005 අංක 13 දරණ ආපදා කළමනාකරණ පණතෙහි 25වැනි වගන්තිය යටතේ දක්වා ඇති ආපදාවන් අතරට “අලි මිනිස් ගැටුම” ආපදාවක් ලෙස ඇතුළත්ව නැත.
වනඅලින්ගේ ව්‍යාප්තිය හා එක් එක් ප්‍රදේශයන්හි ඔවුන්ගේ හැසිරීම් රටාවන් අධ්‍යයනය කිරීමේදී ඉතා වැදගත් කරුණු කිහිපයක් එළිදරව් වේ. ශ්‍රී ලංකාව තුල වනඅලි ව්‍යාප්තවී ඇති අන්දම සැලකූ විට ඔවුන් වැඩි වශයෙන් වියලි කලාපය තුල ජිවත් වන බවත් වනජීවී රක්ෂිත ජාලය තුලට පමණක් සීමාවී නොමැති බවත් පැහැදිලි වේ. බොහෝ විට ආහාර සහ ජලය සොයා රක්ෂිතවලින් බැහැරට මෙම වනඅලි ගමන් කරනු ලබන්නේ රාත්‍රි කාලයේදීය. රක්ෂිත තුල ගතකරන කාලය තුල කිසිදු ගැටුමකට දායක නොවන මොවුන් රාත්‍රි කාලයේ ගම්මාන හා ගොවිබ්ම් වලට ගමන් කිරීමෙන් පසුව ඉතා නොසන්සුන් තත්ත්වයකට පත් වේ. මීට ප්‍රධාන හේතුව ගම්වාසීන් හා ගොවීන් විසින් වනඅලි පලවාහැරීම පිණිස උපයෝගී කරගනු ලබන විවිධාකාරවූ උපක්රමයන්ය. මෙම තත්ත්වය හේතුවෙන් වනඅලි මෙන්ම මිනිසුන්ද නිරන්තර තැතිගත් ස්වභාවයකින් එකිනෙකා වෙත ප්‍රතිචාර දැක්වීමට පෙළඹේ. ඒ අනුව දෙපාර්ශවයටම විශාල හානි සිදුවන ගැටුමකට මුලපිරේ.
විසඳුමක් සඳහා නව ප්‍රවේශයක්
අලි මිනිස් ගැටුම වඩාත් සාර්ථක ලෙස පාලනය කර, අලි සම්පත ග්‍රාමීය ප්‍රජාවගේ ආර්ථික සමෘධිය සඳහා වාසිදායක ලෙස යොදා ගැනීම තුලින් මෙම ගැටළුව විසඳීම, මිනිසාට මෙන්ම වන අලින්ටද අවසන් වශයෙන් සමස්ත පරිසරයටම වඩා යහපත් හෙට දවසක් උදා කිරීමට මහෝපකාරී වනු ඇත.
සංරක්ෂණ මූලධර්ම හා ආපදා කළමනාකරණ මූලධර්ම ඒකාබද්ධ කරගනිමින් “අලි මිනිස් ගැටුම” සඳහා විසඳුම් සෙවීමත්, ග්‍රාමීය දරිද්‍රතාවය පිටුදැකීමේ මාර්ගයක් ලෙස වනඅලි මූලික කරගත් සංචාරක ව්‍යාපාරය ඇතුළු ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් හඳුන්වා දීමත්, ප්‍රජාව බලගැන්වීම තුලින් ප්‍රජාමූලික විසඳුම් ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයක් සලස්වා දීමත්, එම වැඩපිළිවෙළ අඛණ්ඩව දීර්ඝකාලීනව පවත්වාගෙන යාහැකි අන්දමේ ආයතනික යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමත් මෙම ප්රවේශයේ සුවිශේෂ ලක්ෂණයන් වේ.
වනඅලි මිනිස් ජනාවාසයකට ඇතුල්වී ඇති අවස්ථාවක ආපදා කළමනාකරණ ක්‍රමවේදයන් අනුව කටයුතු කිරීම, අවදානම හා අනතුරු අවම කර ගැනීමට පහසුම ආකාරයයි. ආපදා කළමනාකරණයේදී ආපදාවකට පූර්ව අවස්ථාව සහ පසු අවස්ථාව ලෙස අවස්ථා දෙකක් සලකා බැලේ. පෙර සූදානම, වළක්වාගැනීම, බලපෑම් අවම කර ගැනීම යන කාර්යයන් පූර්ව ආපදා අවස්ථාවකට අදාල ආපදා කළමනාකරණ කාර්යයන් වන අතර ප්‍රතිචාර දැක්වීම, යථා තත්ත්වයට පත් කිරීම ආදිය ආපදාවක් පවතින අතරතුර හා ඉන් අනතුරුව කලයුතු කාර්යයන් වේ. මෙම එක් එක් අවස්ථාවට අදාලව වනඅලි හානි සම්බන්ධයෙන් අවශ්‍ය පියවර සැලසුම් කර ක්‍රියාත්මක කිරීමෙන් හානි අවම කරගැනීමේ වැඩි ඉඩකඩක් සැලසේ.
වියළි කලාපයේ ගම්මාන ආශ්‍රිතව පවතින වැව් කරා පැමිණෙන වනඅලි ගම්වාසීන්ගේ ජීවිත, නිවාස, දේපළ හා වගාවන්ටද හානි කරමින් හානිකර සාධකයක් බවට පත්ව ඇති නමුදු ගම්මාන වටා විදුලිවැට ඉදිකර එවැනි හානි සිදුවීමට ඇති ඉඩකඩ අවම කිරීමට පියවර ගත හැකිය.
එමෙන්ම වී වගාව ආරක්ෂා කිරීම පිණිස තාවකාලික කුඹුරු වැට හඳුන්වා දීමෙන් වී වගාවට සිදුවන හානිය අවම කර ගතහැකි වන අතර අස්වනු නෙලාගැනීමෙන් පසු විදුලි වැට ගලවා ඉවත් කරනු ලබන බැවින් වනඅලින්ට එම භූමි ප්‍රදේශ තම ගොදුරු බිම් (Feeding Grounds)ලෙස භාවිතා කල හැකි වන අතර ඉන් වගාවට හෝ ගම්වාසීන්ට හානියක් සිදුවීමේ ඉඩකඩද ඇහිරී යනු ඇත.
මීට සමගාමීව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වනඅලින්ගේ සංරක්ෂණය වෙනුවෙන් රක්ෂිත ප්‍රදේශ කළමනාකරණ කටයුතු තවදුරටත් පුළුල් කරනු ලැබිය යුතු අතර රක්ෂිත තුල වනඅලින්ගේ ඉසුළුම් ධාරීතාවය ඉහල දැමීමට වාසස්ථාන සුපෝෂණ කටයුතු සඳහා අවශ්‍ය පියවර ගතයුතුය. එසේම, රක්ෂිත එකිනෙක යා කරන අලි මංකඩ නැවත ස්ථාපනය කිරීමද වැදගත් යෝජනාවකි.
වනඅලි හානිවලින් ග්‍රාමීය ප්‍රජාව ආරක්ෂා කර ගන්නා අතර ආපදාවට හේතුකාරකය වූ වනඅලි සම්පතම ග්‍රාමීය ජනතාවගේ ආර්ථික සංවර්ධනයට දායක කර ගැනීමද මෙහි අනිවාර්ය අංගයකි.
දෙස් විදෙස් සංචාරකයින්ගේ ඉමහත් ආකර්ශනයට ලක්ව ඇති බැවින් සංචාරක ව්‍යාපාරය හරහා ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට වනඅලි සම්පත මහෝපකාරී වී ඇත. වනඅලි නැරඹීමට දෙස් විදෙස් සංචාරකයින් මහත් කැමැත්තක් දක්වන බැවින් ඒ සඳහා ජාතික උද්‍යාන වෙත විශාල සංචාරකයන් පිරිසක් පිවිසීමෙන් ජාතික උද්‍යාන තුල සංචාරක පීඩනයක් (Visitor Pressure) ඇතිවීම පාරිසරිකව අහිතකර ප්‍රතිඵල ඇති කරනු ලැබ ඇත. මෙවන් වාතාවරණයක් යටතේ වනඅලි නැරඹීමේ විකල්ප ස්ථාන පවතී නම් ඉන් දෙයාකාරයක වාසි සැලසෙනු ඇත. ජාතික උද්‍යාන තරම්ම ආකර්ශනීය නොවුනද එවැනි ස්ථාන, වනඅලි නැරඹීමේ හා අධ්‍යයනය කිරීමේ අවශ්‍යතා සහිත පිරිස් සඳහා අඩු වියදම් විකල්පයක් වනු ඇත. ගම්මාන ආශ්‍රිතව ඇති වැව් වලට පැමිණෙන වනඅලි නැරඹීමේ අවස්ථා සංචාරකයින්ට සලසා දීමෙන් වනඅලි මූලික කරගත් සංචාරක ව්‍යාපාරයක් ඉතා පහසුවෙන් ඇරඹිය හැකි වනු ඇත. එවැන්නකින් ග්‍රාමීය ප්‍රජාවට තම එළවළු සහ පළතුරු මෙන්ම රස කැවිලි වර්ග අලෙවිය හා රැකියා විරහිත තරුණ තරුණියන් සංචාරක මගපෙන්වන්නන් ලෙස කටයුතු කිරීම මගින් ආදායම් මාර්ග සලසාගත හැකි වනු ඇත.
මෙකී සමස්ථ ක්‍රියාවලිය ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා ගොවිජන සංවර්ධන කොමසාරිස්වරුන්ගේ පරිපාලනය හා අධීක්ෂණය යටතේ සිදු කිරීමෙන් හා ගම්මාන වැට සහ වගා වැට ඉදි කිරීම හා නඩත්තු කිරීම ගමේ ප්‍රජාව හා ගොවි ප්‍රජාව මගින්ම සිදු කිරීම තුලින් පෙර පැවති ක්‍රමයට වඩා වැඩි ඵලදායීතාවයකින් හා කාර්යක්ෂමතාවයකින් අලි මිනිස් ගැටුම අවම කර ගැනීමටත් වනඅලි සම්පත මගින් ආර්ථික ප්රතිලාභ ලබා ගැනීමටත් අවස්ථාව සැලසෙනු ඇත.අවසන් වශයෙන් සලකා බැලූ විට ග්‍රාමීය මිනිස් ප්‍රජාවගේ දුගීබව යන ගැටළුව සඳහා සැලකියයුතු විසඳුමක් ලෙස වනඅලි සම්පත යොදා ගැනීමට මේ තුලින් ඉඩ කඩ සැලසෙන බව නිසැකය.
වනඅලින්ට එරෙහිව සිදුවන දරුණු හිංසාකාරී ක්‍රියාවන් අවම වීමත් සමග වනඅලින් විසින් මිනිසුන් පසුපස හඹාගොස් පහරදීම වැනි සිදුවීම් ද අවම වීමට අවකාශ සැලසේ. මේ තුලින් දෙපාර්ශවයෙන් එකිනෙකාට එරෙහිව සිදුවන හානි අවම වී එකිනෙකාට වාසි සැලසෙන තත්ත්වයක් නිර්මාණය වනු ඇති අතර එම තත්ත්වය “අලි – මිනිස් සහජීවනය” නමින් හැඳින්වීම සාධාරණ වනු ඇත. එය අප අපේක්ෂා කරන අවසන් ඉලක්කයයි.
ධම්මික පෑබොටුව සංරචක සම්බන්ධීකාරක,
පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතිය
පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතියයේ (ESCAMP) 2 (බී
One Reply to ““අලි මිනිස් ගැටුම” ………., ගැටළුවක් නොව, ගැටළුවකට විසඳුමක් කර ගනිමු.”hubli
ඉතා වැදගත් ලිපියක්.