ශ්‍රී ලංකාව රසායනික පොහොර භාවිතයෙන් ඉවත් වෙමින් පවතින මොහොතක කාබනික පොහොර සඳහා රට තුළ විශාල ඉල්ලුමක් පවතී. උච්චතම මට්ටමක පවතින එම ඉල්ලුම හේතුවෙන් දේශීය වෙළඳපොලෙහි කොම්පෝස්ට් ඇතුළු කාබනික පොහොර හිඟයක් ද නිර්මාණය වෙමින් පවතී.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ හැළඹවැව ග්‍රාමය කෘෂිකර්මාන්තය පදනම් කරගත් ගම්මානයක් වන අතර එම ගම්වාසීන් ඔවුන්ගේ වගාවන් සරු කරගැනීම සඳහා අවශ්‍ය පමණට කාබනික පොහොර නොමැතිකමින් බොහෝ සේ පීඩාවට පත්ව සිටිති. එමෙන්ම මෙම ග්‍රාමය, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මකවන පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතියේ (ESCAMP) ගම්මාන සහ කුඹුරු වටා විදුලි වැට ඉදිකිරීමේ වැඩසටහනෙහි කොටස්කරුවෙකු ද වේ.
මෙම පසුබිම තුල, ESCAMP ව්‍යාපෘතිය මඟින් ඔවුන්ගේ කෘෂිකාර්මික කටයුතු පාදකකොටගත් ජීවනෝපාය සංවර්ධනයක් සඳහා උපකාර කිරීමේ මාධ්‍යයක් ලෙස හැලඹවැව ප්‍රජා මූලික සංවිධානයට (CBO) කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනට අවශ්‍ය ශාකමය අමුද්‍රව්‍ය කැබලි කිරීමේ යන්ත්‍රයක් ද ලබා දෙන ලදි. දේශීය නිෂ්පාදනයක් වන මෙම යන්ත්‍රයෙන් කාබනික පොහොර නිපදවීම සඳහා යොදා ගත හැකි ශාකමය අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1000 ක් දක්වා පැයක් තුල කැබලි කර නිපදවාගත හැකිය. සාමාන්‍යයෙන් කාබනික පොහොර නිෂ්පාදනය සඳහා දළ වශයෙන් මාස තුනක පමණ කාලයක් අවශ්‍ය වන අතර, මෙම යන්ත්‍රය භාවිතයෙන් පොහොර නිපදවීම සඳහා අවශ්‍ය ශාකමය අමුද්‍රව්‍ය කැබලිකර භාවිතා කිරීමෙන් එම කාලය මසකින් අඩු කරගත හැකිය.
ESCAMP ව්‍යාපෘතිය විසින් ලබා දෙන ලද නව කොම්පෝස්ට් සාදන යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රජා මුල සංවිධානය විසින් නම් කරන ලද සාමාජිකයින් 10 දෙනෙකුට, 2021 දෙසැම්බර් 20 වන දින තාක්ෂණික පුහුණු වැඩසටහනක් ද සංවිධානය කරන ලදී. ව්‍යාපෘතියේ දායකත්වය ඇතිව ගම්මානය හා කුඹුරු වටා ඉදි කරන ලද විදුලි වැට මගින් වන අලි වගාපාලු වලක්වා ආරක්ෂා කෙරෙන ගෙවතු හා වී වගාවන් සඳහා අවශ්‍ය කාබනික කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීමට එම පුහුණුව ලැබූ සාමාජිකයින්ට එමගින් හැකියාව ලැබී ඇත.
ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම අවම කරලීම අරමුණුකොට ගත් ESCAMP ව්‍යාපෘතිය විසින් ක්‍රියාත්මක කරනු ලබන ක්‍රමවේදයන් මගින් ප්රතිලාභ ලබන ගම්මානවල ජනතාවගේ ජිවනෝපාය සංවර්ධනය සඳහා ද අත්වැලක් සැපයේ. මෙම ක්‍රමවේදයන් සැලසුම් කර ඇත්තේ වන සතුන් සමඟ පවතින ගැටුම කර, අලි ඇතුන් සමඟ සහජීවනයක් ද ඇති කර ගැනීමට ද උපකාර වන අයුරිනි.