පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 31 සිංහගම ග්‍රාම නිලධාරී වසමේ සිංහගම හෙවත් කිතුල් උතුව ගම පිහිටා ඇත. මෙම ගම්මානය 1980 වසරේදී යුද්ධය පැවති සමයේ ජනශුන්‍යව පැවති ප්‍රදේශයක් වූ අතර,එම ප්‍රදේශය ආරක්ෂිත ප්‍රදේශයක් කරගැනීමේ අරමුණින් එකල රජය කැලෑව කපා පාර දෙපස ජනතාව පදිංචි කරන ලදී. ගමක් පිහිටුවීමේදී ලබා දිය යුතු මුලික පහසුකම් කිසිවක්ම මෙම ගමට එකල ලබාදී නොතිබුණි. ඒ හේතුවෙන්ම ගම්වැසියන්ගේ ජීවනෝපාය මාර්ගය සරිවුයේ වුයේ අවට කැලෑව මත යැපීමෙනි. කැලෑවෙන් දර කපා විකිණීම ප්‍රධානතම ජිවනෝපාය මාර්ගය විය. මීපැණි කැඩිම, ඖෂධ එකතුකිරිම වැනි අතිරේක ජිවන මාර්ගයන් තිබුනද ඒ කිසිවක් ජීවත්වීම සඳහා ප්‍රමාණවත් නොවිය.
රටේ පැවති යුද්ධය දරුණුවන අවධිය වන විට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට බඳවා ගැනීම සඳහා පැවැත්වුණු සම්මුඛ පරීක්ෂණ සඳහා සිංහගම ගම්මානයෙන්ද තරුණයින් 5 දෙනෙකු ඉදිරිපත් විය. සම්මුඛ පරීක්ෂණ අවස්ථාවේදී සිංහගම තරුණයින්ගෙන් දැනට කරන රැකියාව කුමක්දැයි විමසා ඇත. එහිදී ඉතාම ආඩම්බරයෙන් ඔවුන් පවසා ඇත්තේ දර කපා විකිණීම බවයි. එහිදී සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණ සිටි සියළු දෙනා ඉදිරියේ සිංහගම තරුණයින් 5 දෙනා සිටුවා “ මෙන්න බලාගනිල්ලා මුන් තමයි කැලෑ පාළුවෝ “ යයි පවසා ඇත. “ තරුණ වයසේ සිටි අපට එදින දැනුනු ලැජ්ජාව කොතරම් ද යන්න විස්තර කරන්නට අදටත් වචන නැහැ,” යැයි සිංහගම තුරුළිය ප්‍රජාමුල සංවිධානයේ සභාපති ඩි.එම්. ප්‍රේමතිලක මහතා අදහස් දක්වමින් අප සමග පැවසුවේය..
අද දවසේ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ අත්වැල් බැඳගනිමින් කැලය රකින්නට පෙරමුණ ගෙන ඇත්තේ එදා “කැලෑ පාළුවන් “ යයි එදා චෝදනා ලැබූ තරුණයන් හා ගමේ සියලුම කාන්තාවන් හා පිරිමින්ය. අද ඔවුන් මැදි වයසේ පසුවන වැඩිහිටියන්ය.
එදා කැලෑ පාළුවන් ලෙස හංවඩු ගැසුණු අයවලුන් අද කැලෑ රකින්නන් බවට පත්වූ මෙම කතන්දරය හෙළි වුයේ දින පරිසර හා වනජීවී සම්පත් අමාත්‍යංශයේ ලේකම් ඒ.එච්.සරත් විජේසිංහ මහතා ESCAMP ව්‍යාපෘතියේ අධ්යක්ෂ අනුර සතුරුසිංහ මහතා සහ කළමනාකරු ධනුෂ්ක වික්‍රමරත්න මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් සමඟ ක්ෂේත්‍ර කටයුතු අධීක්ෂණය සදහා පොළොන්නරුව ආනඋලන්දාව හා ගල්ඔය රක්ෂිත වනාන්තරය ආශ්රිත ගම්වාසීන් හමුවීමට ගිය අවස්ථාවේදීය.
තව දුරටත් අදහස් දැක්වූ ප්‍රේමතිලක මහතා කියා සිටියේ ESCAMP ව්‍යාපෘතිය සමඟ ගමට පැමිණි වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අඩවි වන නිලධාරි බී. ඩි.සී.ජී.ප්‍රියන්ත මහතා ඇතුළු සෙසු නිලධාරින් ගම්වාසීන් සමඟ ඉතා
සමීපව කටයුතු කරමින් කැලය ආරක්ෂා කිරීමේ වැදගත්කම පහදා දුන් බවය. ඔවුන්ගේ උපදෙස් අනුව ක්‍රියා කරමින්” තුරුළිය ප්‍රජාමුල සංවිධානය”පිහිටුවාගත් බවත්, ගමේ සියළු දෙනාම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ එක්ව කැලය ආරක්ෂා කරගනිමින් ජනතාවගේ ජිවන තත්වය වැඩිදියුණු කරගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවය.
ESCAMP ව්‍යාපෘතිය මඟින් ගම්වාසීන් සමඟම ග්‍රාම සංවර්ධන සැලැස්මක් සාදා එහිදී විකල්ප ජිවනෝපාය මාර්ග හඳුනා ගන්නා ලද අතර, එම ජිවනෝපාය මාර්ග ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පුහුණුවීම් සමඟම මුල්‍ය ප්රතිපාදනද වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව හරහා පරිසර හා වනජීවී සම්පත් අමාත්‍යාංශයෙන් ලැබී ඇති බවත්ය. පසුව, අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ප්‍රජාමුල සංවිධානයට ලැබුණු පසු, ජිවනෝපාය සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට ඔවුනට හැකිවිය.
ශ්‍රීමති සෝමතුංග
සමාජ සංවර්ධන නිලධාරි
ESCAMP