ගහකොළ සතා සිව්පාවට ආදරය කරන පරම්පරාවක් හදමු!
ළමා උද්‍යානයක් හා වනෝද්‍යානයක් අතර සෘජු සබඳතාවක් පැවතිය හැකිද? ළමුන්ට කෙළි සෙල්ලමක් සඳහා ඉඩක් ලබා ගැනීමයි, රක්ෂිතයක් ආරක්ෂා කර ගැනීමේ අරමුණයි අතර සමානත්වයක් තිබේද? බැලූ බැල්මට එවන් සහ සම්බන්ධයක් සොයා ගැනීම අසීරු වුවත් එහෙව් සහසම්බන්ධයක් ගොඩනැඟීමේ උත්සාහයක් සියැසින් දැකබලා ගැනීමට අපට හැකිවිය. ඒ යහංගල නැගෙනහිර පෘතුගාල ගම්මානයේදීය.
” 2006 සිට මේ දක්වා සංඛ්‍යා ලේඛන අරන් බැලූවොත් වැඩිම වනජීවි අපරාධ වාර්තා වෙන්නේ මේ ප්‍රදේශයෙන්. සමහරවිට වාර්තා නොවන ප්‍රමාණය තවත් බොහෝ වෙන්න පුළුවන්. ඉතිං අපට කැලේ දර කපාගෙන, දඩයමම කරගෙන ඉන්න පරණ පරම්පරාවන් වල ඔළුව හදන්න බෑ. කොයි අම්ම තාත්ත වුණත් තමන්ගේ දරුවන්ට ආදරේ නිසා දරුවන් මාර්ගයෙන් වැඩිහිටියන්ට බලපෑම් කිරීමටත්, දරුවන් ගහ කොළට සතා සිවුපාවට ආදරේ කරන පරම්පරාවක් බවට පත් කර ගැනීමටත් තමා මේ උත්සාහය අරන් තියෙන්නේ” වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දකුණු කලාප කාර්යාලයේ ජන විහිදුම්කරණ නිලධාරී චානක විජේසේකර මහතා පවසයි.
‘වනජීවි ප්‍රජා සංවර්ධන සමිතිය-යහංගල නැගෙනහිර බඳගිරිය’ නමැති මෙම සමිතිය විසින් පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතියේ සහයෝගයෙන් ප්‍රදේශයේ ළමුන් උදෙසා පිහිටුවා ඇති මෙම උද්‍යානය ‘පාරිසරික ළමා උද්‍යානයකි’. ප්‍රදේශයේ පවුල් 500ක පමණ ළමුන් මෙම උද්‍යානයේ කෙළි දෙළෙන් ගත කිරීම සඳහා පැමිණියත් සමිතිය සමග ක්‍රියාකාරීව කටයුතු කරමින් සිටින්නේ පවුල් 20ක පමණ පිරිසකි. ඒ ඇයි?
‘‘ වනජීවි නීති උල්ලංඝණය කරන අය, ඒ වෙනුවෙන් දඬුවම් ලබපු අය අපි සමිතියට බඳවා ගන්නෙ නෑ. ඒත් ළමයින්ට නීති දාන්න බෑ. ඉතිං අපි මෙතෙන්ට එකතු වෙන ළමයින්ට පරිසර හිතකාමී වැඩසටහන් කරනවා. ඉදිරියේදී පාර්ක් එක අරින වෙලාවටයි වහන වෙලාවටයි ශබ්ද වාහිනියකින් පාරිසරික වැදගත්කම ගැන කියැවෙන පණිවිඩ විකාශනය කරනවා. මේ ගහ කොළවල උද්භිද විද්‍යාත්මක නම් ප්‍රදර්ශනය කොට එහි වටිනාකම ගැන කියැවෙන පුවරු ප්‍රදර්ශනය කරනවා. සමිතිය හරහා මිනිසුන්ට ප්රතිලාභ වැඩිකරනවා. එතකොට වැරදි නොකර අපිත් එක්ක එකතු වෙන්න උනන්දුවක් ඉබේම ඇති වෙනවා.” වනජීවි ප්‍රජා සංවර්ධන සමිතියේ භාණ්ඩාගාරික නෙල්සන් විජේසූරිය මහතා පවසයි.
ළමා උද්‍යානයේ කමිටු සභාපති එච්. ඞී සේපාලිකා මෙසේ සඳහන් කළාය.
“ඉස්කෝලෙත් ළමයින්ට පරිසරයේ සොබාදහම වටිනාකම් ගැන කියලා දෙනවා. ගෙදර ඇවිත් සෙල්ලම් කරන්න මෙතෙන්ට ආවමත් ඒ වටිනාකම් හිතට කාවදින විදිහේ පරිසරයක් අපි හදලා තියෙනවා. වනජීවින්ට හානි කරන වැඩිහිටි අයටත් තමන්ගෙ දරුවෝ මෙතැනට එවන්න සිද්ධ වෙනවා. එතකොට ඒ දරුවො නිතර දෙවේලේ ගෙදර ගිහින් මේ වටිනාකම් ගැන කතා කරනකොට ඒ අයට දරුවන්ට ඇහුන්කන් නොදී ඉන්න බැරිවෙනවා. ඒ විදිහට සමිතියට එකතු වෙන්න ඉල්ලීම් කරන අය දැන් ඉන්නවා” ඇය වැඩිදුරටත් කියා සිටියාය.
උද්‍යානයට සෑම දිනෙකම සිය දරුවන් දෙදෙනා කැටුව එන මවක වන අනූෂා නිමාලි මෙසේ කියා සිටියාය.
‘‘ ඉස්සර වනජීවි එකයි ගමයි අතර ලොකු සම්බන්ධයක් නෑ. ගමේ අය වනජීවි මහත්තුරු දැක්කේ හතුරු පිරිසක් හැටියටයි. ඒත් තමන්ගේ දරුවන්ට මේ වගේ අතහිත දෙන වැඩ කරන්න ගත්තම ඒ අය ටිකෙන් ටික වැරදි කරන එකෙන් ඈත් වෙනවා. අනිත් අතට වැරදි කරන අයට එහෙම නොකරන්න බලපෑම් කරනවා.” ඇය පැහැදිලි කළාය. මෙම සමිතියේ ළමා උද්‍යාන කමිටුවේ ලේකම් එච්.ආර් නිශාමනි, මෙම උද්‍යානය පිහිටුවන්නට බොහෝ සේ ඇප කැපවූ අයෙකි.
‘‘ අපි දැන් මේ පාර්ක් එකේ සෙල්ලම් කරන්න පාවිච්චි නොවෙන තැන්වල පැළ සිටුවන්න සැලසුම් කරලා තියෙනවා. පැළත් ඉල්ලගෙන තියෙනවා. මෙතන සෙල්ලම් කරන්න එන ළමයිගේත් සහයෝගයෙන් ශ්‍රමදානයෙන් ඒ කටයුත්ත කරන්න හිතාගෙන ඉන්නෙ. එතකොට මේවා අපගේමයි අපි විසින් රැකගත යුතුයි කියන හැඟීම එනවා” නිශාමනි පෙන්වාදුන්නාය.
ලංකාවේ බොහෝ සංවර්ධන ව්‍යාපෘතිවල සැබෑ ප්‍රතිලාභීන් වන්නේ අදාළ ප්‍රදේශයේ ජනයා නොවේ. තවත් විටෙක ගහ කොළ සිටුවීම, සතා සිව්පාවුන් රැකගැනීම ආදී හුදු සටන්පාඨ පමණි. පැරණි පරම්පරාවන් ආකල්පමය වශයෙන් වෙනස් කිරීමේ අසීරුතාවන්ද දැන හැඳින පරිසරයට රටට ආදරය කරන අලූත් පරම්පරාවක් ගොඩනඟා ගැනීමට ඉතා සුළුවෙන් වුවත් තබන මෙවැනි පියවරක් ඇතැම්විට අනාගතයේ යෝධ පියවරක් වනු ඇත.
-එම්.ඒ.පී.ආර් විජේබණ්ඩාර