“ටිකක් හිතුවොත් චුට්ටක් මහන්සි වුණොත් අපට කරන්න බැරි දෙයක් නෑ” එහෙම කියන්නේ තම ස්ත්‍රීත්වය, පිටිසර දුෂ්කරතාවන්, අවිවේකත්වය බාධාවක් කර නොගෙන හවසට හවසට වැඩ නිමවී නිවසට පැමිණ ඉතා සුළුවෙන් කුඩා ව්‍යාපාරයකට පියවර තබා දැනටමත් දුර ගමනක පෙර නිමිති පළකර ඇති කන්නෙලියේ කෝරලේගම එච්.ඩබ්ලිව් නිලන්තිය.
“ මේක මං පටන් ගත්තේ විනෝදයට වගේ. ඒත් හොඳ ඉල්ලුමක් තියෙනවා. මං තවත් රැකියාවක් කරන අතරතුරේ පටන් ගත්තෙ. ගෙදර කුස්සියේ ඉඩකඩ මදි. තියෙන හැලි වළං ප්‍රමාණවත් නෑ. එළියේ දර ළිපේ හදාගෙන ගෙන අරන් එන්නෙ. ලොකු ගෑස් ළිපක්, රාස් පානක් , පල්ප මැෂින් එකක් වගේ දේවල් තියෙනවා නම් මහා පරිමාණයෙන් කරන්න පුළුවන්.”
දේශීය වෙළෙඳපොලේ, විවිධ සාප්පු සංකීර්ණ තුළ නානප්‍රකාර ඇසුරුම් මාදිලි තුළින් අපට මිලදී ගැනීමට ලැබෙන කෝඩියල් වර්ග, ජෑම් වර්ග, රස කැවිලි අපමණය. එහෙත් මෙම ආහාර පාන බොහොමයක් පිළිබඳ තිරයෙන් පිටුපස පවත්නා කතාව කනගාටුදායකය.
“ඔය ලොකු ලොකු කම්පැණිවල කෝඩියල් ගත්තත්, ජෑම් ගත්තත් ඒවායෙ තියෙන්නෙ වට්ටක්කා. කෘතිම විදිහට සුවඳ සාරය විතරයි වෙන් වෙන්ව මුහු කරන්නෙ. ඒත් මං එහෙම නෙවෙයි. තනිකරම ස්වභාවික පලතුරු. කල් තියාගන්නවත් කිසිම කෘතිම රස කාරකයක් එකතු කරන්නෙ නෑ. ඒ නිසාම ලොකු ලොකු කම්පැණිවලින් වගේ ලොකු ලොකු වට්ටම් දෙන්නත් බෑ. මං දෙන්නෙ සියයට දහයක විතර වට්ටමක් විතරයි. ඒත් වස විස වෙනුවට පිරිසිදු කාබනික ආහාරවලට දැන් දැන් බුද්ධිමත් මිනිස්සු හුරුවෙමින් ඉන්නවා. ඒ නිසා ඉදිරියේදී මට මේ ව්‍යාපාරය දියුණු කරගන්න හැකිවෙනවා ඒකාන්තයි.” ඇයට පවත්නා ආත්ම විශ්වාසය අපූරුය. එහෙත් ඇයට අතදෙමින් නිබඳව ඇය පසු පස සිටින්නේ රාජ්‍ය ආයතනයක් බැව් නොකීවොත් එය ගුණමකු කමකි.
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, හා ලෝක බැංකුවේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතිය ඒකාබද්ධව වන රක්ෂිත ප්‍රදේශ ආශ්රිත ජීවත්වන ජනයාගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා ස්වභාවික සම්පත් තිරසර ලෙස භාවිතා කිරීමට අදාළව පුහුණු සැසිවාර, වැඩමුළු ආදිය පවත්වනු ලබයි. කන්නෙලිය රක්ෂිත ප්‍රදේශය ආශ්රිත ගම්මානයක ජීවත්වෙන එච්. ඩබ්ලිව් නිලන්තිටද, ලබුදූව කෘෂිකර්ම පුහුණු පර්යේෂණ ආයතනයේ පවත්වන ලද එවන් එක් පුහුණුවකට නොමිලේ සහභාගිවීමට අවස්ථාව ලැබීම ඇයගේ ජීවිතයට මෙලෙස හැරවුම් ලක්ෂ්‍යක් වී තිබේ.
“මං ගිය අවුරුද්දෙ ජූනි-ජූලි තමා පුහුණුවට ගියේ. වැඩේ පටන්ගන්න ලොකු ආයෝජනයක් කරන්න බැරි නිසා තමා සුළුවෙන් පටන් ගත්තෙ.” ඇය පෙන්වාදෙයි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය වන නිලධාරී අසිත ද සිල්වා, පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතියේ ජීවනෝපාය හා ප්‍රජාමූල සංවර්ධන විශේෂඥ ශිරාජ් මොරුගම යන මහත්වරුන් සාර්ථක ගමනක් සඳහා ඇයට නිරන්තරයෙන් උපදෙස් ලබාදෙයි.
“මේ බෝතලයේ ලේබලය බැලුවම ඉතාමත් පුංචියට තියෙන්නේ මෙය සියයට සියයක්ම ස්වභාවික බව හා කිසිදු රසායනයක් අඩංගු නොවන බව. ඒක තමා වඩාත් පැහැදිලිව තියෙන්න ඕන. ඇසුරුම් හා ප්‍රවාහනය ගැන තව ටිකක් හිතන්න වෙනවා. ඔබට මෙම ව්‍යාපාරය සාර්ථකව තවදුරටත් දියුණු කරගැනීමට අවශ්‍යයි කියා හිතන දේවල් ප්‍රාදේශීය වන නිලධාරී කාර්යාලය හරහා ඉල්ලන්න. ඒ දේවල් ලබාදෙන්න අපි සූදානම්” ශිරාජ් මොරුගම මහතා ඇයට උපදෙස් දුන්නේය. එහෙත් වඩා වැදගත් වන්නේ වස විස මුසු නොකොට තම ආහාර නිෂ්පාදන කල් තබා ගැනීමට නිලන්ති විසින් අනුගමනය කරන පිළිවෙතය.
“පලතුරු ටික පල්ප කරන ගමන් අනෙක් පැත්තෙන් බෝතල් ටික ජීවානුහරණය කරනවා. සෝඩාවලින්, ලුණු වතුරෙන් සෝදලා බෝතල් ටිකයි මූඩි ටිකයි නටන උණු වතුරේ විනාඩි විස්සක් තම්බනවා. ඒවා බාගන්න අතරේම ජෑම් ටික උණුවේම බා ගන්නවා. බෝතල්වල මූඩිවල වතුර සම්පූර්ණයෙන්ම වේලෙනවිටම මිශ්‍රණය වත්කරලා ක්ෂණිව මූඩිය හයිකරලා සීල් කරන්න ඕන. මෙහෙම කළාම කිසි ප්‍රශ්නයක් නැතිව අවුරුදු දෙකක් තියාගන්න පුළුවන් කියලා පුහුණුවෙදි මහත්තුරු කීවා. ඒත් මං මේ වැඩේ පටන් අරන් තාම අවුරුද්දක් නැති නිසා මං කල් පිරෙන දිනේ හැටියට අවුරුදු දෙකක් දැම්මෙ නෑ. අවුරුද්දක් විතරයි දැම්මෙ. අරන් තිබ්බ සාම්පල් බලලා තමා ඒක අවුරුදු දෙකක් දක්වා පුළුවන් කියලා දාන්නෙ”
ඇය එතරම්ම තමන් කරමින් සිටින කාර්යය පිළිබඳ වගකීම් සහගතය. ‘අවශ්‍යතාවය ඇත්නම් එයට මගකුත් තිබේ’ යන්න කිසිදාක අවලංගු නොවන ප්‍රකාශයක් බවට තවත් එක් ජීවමාන උදාහරණයක් නම් කන්නෙලියේ ඇයයි.
-ප්‍රියා විජේබණ්ඩාර