‘‘සිංහරාජ වන අඩවිය” අප සතු ඉමහත් වටිනකමකින් යුතු දායාදයක් බැව් අමුතුවෙන් කිව යුතු නොවේ. එය හෙක්ටයාර 11185 ක ප්‍රදේශයක් අවරණයවන පරිදි රත්නපුර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක පැතිර ඇති තෙත් කලාපීය සදාහරිත වනාන්තරයකි. මෙහි ඇති ජලපෝෂක ප්‍රදේශයක් ලෙස ඇති වැදගත්කම, ජෛව විද්‍යාත්මක, සමාජ ආර්ථික වැදගත්කම, හා එමගින් සිදු කෙරෙන දැවැන්ත පාරිසරික පද්ධති සේවාවන් සලකා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිර්දේශය මත UNESCO ආයතනය විසින් 1978 දී ජාත්‍යන්තර මිනිසා හා ජෛව ගෝල රක්ෂිතයක් (International Man And Biosphere Reserve)ලෙස ප්‍රකාශයට පත්කරන ලද අතර පසුව එනම් 1988 දී, මෙහි ඇති ජාතික වැදගත්කම හා දුර්ලභ ස්වභාවික සම්පතක් ලෙස ඇති වැදගත්කම සලකා ජාතික උරුම වන භූමියක් (National Heritage)ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. 1989 දී තවදුරටත් එහි ඇති පාරිසරික වැදගත්කම සලකා ලෝක උරුම වන භූමියක් (World Heritage) ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. මේ හැරුණුවිට මෙය රක්ෂිත වනාන්තරයක් ලෙසද ප්‍රකාශයට පත්කර ඇත. මෙම සියලුම කරුණු සලකා මෙහි ආරක්ෂාව හා මනා කළමනාකරණය සලකා විශේෂ කාර්යය මණ්ඩලයක්ද පත් කර ඇත. එහෙත් පසුගිය කාලයේ දැඩි ආන්දෝලනයට තුඩුදුන් සංසිද්ධියක් වූයේ සිංහරාජය දෙකඩ කරමින් මාර්ගයක් ඉදිවෙන බවට පළවූ පුවත්ය. ‘ජනප්‍රිය පුවත්’ හැමවිටම ‘නිවරදිම පුවත්’ විය නොහැකි බවට එක් නිදසුනක් වන්නේ එලෙස සිංහරාජය පිළිබඳ පළවූ පුවත්ය. සිංහරාජය වන පාලක ධම්මික වත්තේගම මහතා කියන්නේ මෙවැන්නකි.
‘මුලින්ම කීවේ සිංහරාජය දෙකඩ කරනවා කියලයි. මේකෙ දෙකඩ වෙන්න දෙයක් සිද්ධ වුණේ නෑ. සිද්ධවුණේ අවුරුදු 50ටත් වැඩි කාලයක් තිස්සේ තිබුණු පාර අලුත් වැඩියා කරපු එක විතරයි.” එය සිදුවූයේ කෙසේද? එහි ඉතිහාසය කෙබඳුද?
දැවහෙළීම් හා මාර්ග ඉදිකිරීම
සිංහරාජ වනයේ ඉතිහාසය විමසා බලන විට එයතුළ ප්‍රවේශ මාර්ගයක් ඉදිකර ඇත්තේ 1963 දීය. ඒ වැද්දාගල සිට කුඩව දක්වාය. පසුව මෙහි ඇති දැව නිෂ්පාදන හැකියාව පිළිබඳ අධ්‍යනයක් කරනලද අතර එමගින් ලැබූ තොරතුරු හා UNDP/FAO සංවිධානය විසින් 1968 වර්ෂයේදී කරනලද නිර්දේශ අනුව වරණීය දැව හෙළීමේ (Selective Felling) ඇති හැකියාව පිළිගත් අතර එවකට පැවති රජය විසින් දැව හෙළීම සඳහා අවසර දෙන ලදී. කැනඩාවේ රීඩ් කොලින්ග්ස් ඒකාබද්ධ සමාගමේ (Canadian Reid Collings Associates (Ltd) සහාය ඇතිව කොස්ගම තුනීලෑලි සංස්ථාව (Plywood Corporation) ස්ථාපනයකර ඒ සඳහා අවශ්‍ය දව ලබා ගැනීමට සිංහරාජ වනයේ උතුරු ප්‍රදේශයේ හෙක්. 5000 ප්‍රදේශයක් වෙන්කර දැව හෙළීම් ආරම්භ කරනලදී. දැව කඳන් ප්‍රවාහනය සඳහා විශාල යන්ත්‍ර (Timber jack, Trucks, Backhoe හා Bulldozer ආදිය) භාවිතා කළ අතර ඒ සඳහා අඩි 12 – 15 පළල් වූ දැව ප්‍රවාහන මාර්ග ඉදිකරනලදී. මෙහිදී දැවැන්ත පරිසර හානියක් සිදුවූ අතර එවකට ඇතිවූ මහජන විරෝධය හේතුවෙන් දැව හෙළීම් සම්පුර්ණයෙන් නවතා දමන ලදී. කෙසේවුවද 1971 සිට 1978 වර්ෂය දක්වා හෙක්. 2500 ක පමණ ප්රදේශයකදැව හෙළීම් කරනලදී. අද කුඩව, වතුරාව හා දොරණ ඇල ආදී ප්‍රදේශ වල අද දක්නට ඇති සියලු පුළුල් මාර්ග පද්ධති එම දැව ප්‍රවාහනය කිරීම සඳහා ඉදිකරනලද ඒවාය.
මෑත කාලයේ මෙවැනි කිසිදු ආකාරයක නව මාර්ගයක් ඉදිකර නැති අතර සිදුව ඇත්තේ විශේෂයෙන් 2017 වර්ෂයේ සිදුවූ දැඩි වර්ෂාව හා නාය යෑම් හේතුවෙන් විනාශයටපත්ව තිබු වතුරාව – දොරණ ඇල මාර්ගය (සිංහරාජය නැරඹීමට පැමිනෙන්නන් යාමට භාවිතාකළ මාර්ගය) අලුත්වැඩියා කිරීම පමණි. එයටද හේතුවක් තිබේ.
UNESCO ලෝකඋරුම වැඩසටහන මෙන්ම මිනිසා සහ ජෛව ගෝල රක්ෂිත වැඩසටහන්වල එක් අරමුණක් වන්නේ පාරිසරික අධ්‍යාපන හා පර්යේෂණ කටයුතු සඳහා අවශ්‍ය පහසුම් සලසා දීමත් රක්ෂිතයෙන් සැපයෙන් පාරිසරික සේවා උපරිම ලෙස ලබාගැනීම සඳහා අවශ්‍ය පරිදි පවත්වා ගෙන යාමයි. වතුරාව – දොරණ ඇල (1.5 km) ඇල මාර්ගය සිංහරාජයට ප්‍රවිෂ්ට වන මාර්ගය වන අතර වසරකට 100,000 අධික දේශීය හා විදේශීය පිරිස් මෙම මාර්ගය ප්‍රයෝජනයට ගෙන වනය නැරඹ්ම සඳහා පැමිණේ. මෙම මාර්ගය ලෝක උරුම වන භූමියට පිටතින් පිහිටා ඇත. තවද මෙම මාර්ගය ඉවුරුකඩා වැටීම්, නායයෑම්, ගස් ඉදිරීම හා ඇගිලි ඛාධනය ආදී හේතුන් නිසා දැඩි ලෙස විනාශ වී තිබු අතර ගල් අතුරා සෝදා යන ස්ථානවල පැති බැමි බැඳ, කානු සකස්කර අලුත්වැඩියා කරන ලදී. මෙම අලුත් වැඩියා කටයුතු සඳහා පරිසර පද්ධති කළමනාකරණ ව්‍යාපෘතිය (WB) මගින් ප්‍රතිපාදන ලබාදෙනලද අතර, වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තෝරාගත් කොන්ත්‍රාත් සමාගමක් මගින් සියලු අලුත්වැඩියා කටයුතු සිදුකර ඇත. සිංහරාජය වන පාලක ධම්මික වත්තේගම මහතා ඒ පිළිබඳ මෙසේ පවසයි.
‘ වහිද්දී මි.මී 150ට වැඩි වැස්සක් මෙහෙට ලැබෙනවා. සමහර අවස්ථාවල ඒක මි.මී 200-300 දක්වා ඉහළ යනවා. එහෙම වෙලා පාරේ අඩි හතරේ පහේ වළවල් හෑරිලා තිබුණා. ඔය පාර විතරක් නෙවෙයි, ඒ වතුර මේ ගමේ මිනිස්සු ගමට යන එන පාරත් යටකරගෙන යනවා. ගමනාගමන පහසුකම ඒ කාලෙට බිංදුවයි. ඒ නිසා මේ පාර සකස් කර ගැනීමේ අවශ්‍යතාවය තිබුණේ අපට, සංචාරකයින්ට මිසක් කොළඹ සිට කෑ කෝ ගැසුව සමහර අයට නෙවෙයි. සංචාරකයින් ට හදිසි අනතුරු, හදිසි ප්‍රතිකාර අවශ්‍ය වුණු අවස්ථාවල ඒ අයට හදිසි ප්‍රතිකාරයක් සඳහා යොමුකරන්න බෑ. මිනිස්සුන්ගේ කර පිටින් සෑහෙන දුරක් ගෙනියන්න වෙනවා. ඒ වගේම යම් අබාධිත තත්ත්වයක සිටින රෝද පුටුවලින්, කිහිලිකරුවලින් යන අයට අවම වශයෙන් ටිකට් කවුන්ටරයේ සිට ප්‍රධාන මුරකපොල්ල දක්වා වත් යා හැකි මට්ටමට පාර සකස් කරදෙන ලෙස නොසෑහෙන්න ඉල්ලීම් තිබුණා. මොකද ඒ දුර වුණත් ඒ අයට යම් පාරිසරික අත්දැකීමක් විඳීමට අවස්ථාවක් නිසා.”
පාරිසරික හානි අවමකරලීම
ඒ අනුව මෙම ඉල්ලීම ඉටු කිරීමට පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතිය විසින් කටයුතු කළ අතර එහිදී පාරිසරික හානි අවම කරලීමට කටයුතු කර තිබේ.
අධීක්ෂණ කටයුතු සඳහා වෙනම නිලධාරියෙකු අනුයුක්ත කරතිබූ අතර ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා කුඩා ප්‍රමාණයේ වාහන යොදාගැනීම, අවම ශබ්ද ඇතිවනලෙස කටයුතුකිරීම, කැලිකසළ එක්රැස්කර ඉවත්කිරීම, පාංශු කැනීම් අවම ලෙස සිදුකිරීමට කටයුතුකිරීම ආදිය මෙහිදී ගන්නාලද මුලික පියවරයන්වේ. මේ අනුව පසුගිය කාලයේ සියලුම මාධ්‍යන් මගින් සිංහරාජ වනය හරහා ප්‍රවේශ මාර්ගයක් අලුතින් ඉදිකරනු ලබන බවට දෙනලද පුළුල් ප්‍රචාරය අසත්‍යයකි. එහෙත් ‘ගින්නක් නැතිව දුමක් නගියිද?’යයි අසන්නාක් මෙන් මෙවන් ප්‍රචාරයක් ජනප්රියවීමට බලපාන්නට ඇති වෙනත් සාධක නොතිබුණා නොවේ. මේ ධම්මික වත්තේගම මහතාගේ අදහසයි.
“මේ අලුත්වැඩියා කළ පාර හැරුණුවිට අපි ව්‍යාපෘතියෙන් සිංහරාජය මායිමෙන් මේ ගම වටා යන පිටකැලේ මාර්ගය සකස් කිරීමට ඉල්ලීම් කර තිබුණා. ඒත් ඒ පාරේ ගම්වැසියන් පදිංචිව සිටින්නේ කිලෝමීටරයක පමණ දුරක් විතරයි. එතනින් එහාට පාර තිබුණේ එක් පැත්තක සිංහරාජය. අනිත් පැත්තෙ පුද්ගලික ඉඩම්. ඉතිං ඒ පුද්ගලික ඉඩම්වල ලෝජ් කීපයක් තියෙනවා. දැන් මේ පාර සම්පූර්ණයෙන් හදාගන්න ලෝජ් අයිතිකාරයින්ටත්, ඒ ආශ්‍රිතව යැපෙන කීපදෙනෙකුටත් ඕන වුණත් ඒක ගැන අපේ අවධානය යොමුවී තිබුණේ කිලෝමීටරයක් දක්වා විතරයි. ඉතිං මේ අයට මේ පාර ආණ්ඩුවෙන් හදාගන්න කොහෙත්ම ඉඩක් නැති නිසා ව්‍යාපෘතියේ අනුග්‍රහයෙන් ඒක කරගන්න ඕන වුණා. අපේ ප්‍රධාන මුර කපොල්ල පවතින මේ පාර හැරුණාම මුර කපොලු මග හැර සිංහරාජයට ඇතුළුවීමට ඉඩ ප්‍රස්ථාව තියෙන තැන් ඕන තරම් තියෙනවා. වටේ ලොජ් අයිතිකාර අයත් තමන්ගේ ගනුදෙනුකාරයින්ට නිල මාර්ගය වෙනුවට කෙටි පාරවල් පෙන්නලා ඒ අයගේ හිත දිනාගෙන වැඩකරගෙන යනවා. සමහර අවස්ථාවල ඒ අනවසර තැන්වලින් සිංහරාජයට රිංගලා නීති විරෝධී විදිහට එහි කෘමි සතුන්, පැළෑටි ආදිය සොරාගෙන ගිය අවස්ථාවන් තියෙනවා. මං වැඩ බාරගෙන ආපු අලුත ඒ විදිහට සමනලුන් ගෙනියන්න උත්සාහ කළ විදේශිකයෙක් අල්ලලා නීති මගින් ක්‍රියා කළා. චෙක් ජාතිකයෙකු වුණු ඔහුට එක් කෝටි අට ලක්ෂයක දඩයක් නියමවුණා. මේ මාර්ගය හැදිලා පිටකැලේ මාර්ගයට මුරකපොල්ලක් ආවම මේ අවට වනාන්තරය ආශ්‍රිතව නීති විරෝධී ලෙස යැපෙන්නන්ට අමාරුයි. මේ පාර වෙනුවට ඒ පාර හැදුණානම් ඒ අයට තමන්ගේ කටයුතු කරගෙන යන්න පහසුයි. මේ පාරට විරුද්ධව මිනිසුන් උසිගන්වා යම් විරෝධයක් මවා පා මාධ්‍යවල සිටින හිතවතුන් මාර්ගයෙන් මේ පාර ගැන දැවැන්ත වැරදි චිත්‍රයක් මැව්ව එක හේතුවක් ඒකයි. මේකෙදි අපේ සමහර සංචාරක මග පෙන්වන්නොත් උදව් කළා. ඒ ඒ අයගේ පුද්ගලික වාසියටයි. අපි ඒ අයට උපදෙස් දී ඇත්තේ එන සංචාරකයින්ට ස්වභාවික නැරඹුම් මාවත් (nature trails) වල එක්කරගෙන ගොස් සතුන් ගැන ගහ කොළ ගැන හැකි උපරිමයෙන් කරුණු කියාදෙන ලෙසයි. ඒත් සංචාරකයින් වැඩි පිරිසක් එන දවස්වලට ඇතැම් මග පෙන්වන්නන් ඉතා කෙටි දුරක් මේ අය එක්කරගෙන ගොස් පුංචි දුරක, පුංචි කාලයක කෘමින්, කුරුල්ලන් ආදීය පෙන්වා වහාම යළිත් ඇවිත් තව කණ්ඩායමක් රැගෙන යන්නට උත්සාහ ගන්නවා. ඒ නිසාම මාර්ගය පිළිසකර වුණු දෙපස වනයේ සිටි ඇතැම් කෘමින්, කුඩා සතුන් ඔවුන් වැඩි වශයෙන් ගැවසෙන වාසභූමි පෙදෙස් කරා ගොස් පෙන්වන්නට කටයුතු කරන්නෙ නෑ. මාර්ගය සකස් වීමෙන් තමන්ට අඩුවෙන් මහන්සිවී වැඩියෙන් උපයා ගන්නට පැවති අවස්ථාව මගහැරී වැඩියෙන් මහන්සිවී අඩුවෙන් උපයාගන්නට වේවි යයි අනුමාන කළ නිසා ඇතැම් අය මේ උගුලටම හසුවී වැරදි ප්‍රචාරණයටම තල්ලුවක් දුන්නා.’’ දැන් ඒ සිදුවීම් අතීතයට අයිතිය. සිංහරාජය සංරක්ෂණය අනාගතයටත් උරුමය.
-එච්.ජී ගුණවර්ධන
-එම්.ඒ.පී.ආර් විජේබණ්ඩාර