“වනජීවි එකේ මහත්තුරු කියන්නෙ පොලිස්කාරයෝ වගේම ජාතියක් තමා. අහුවුණොත් අල්ලලා හිරේ දානවා. පරම්පරා ගාණක් කැලේ ආශ්‍රිතව ජීවත්වුණු මිනිස්සු කැලෑ අගය හො`දින් දන්නවා. ඒත් එදිනෙදා ජීවිතේ ගැට ගහගන්න වෙනත් කර්මාන්තයක් දැන ඉගෙන නොගත්තම කැලේ සතෙක් දඩයම් කරගෙන, කැලෑවේ ගහක් දරට කපලා විකුණගෙන ජීවත් වෙන එක ඇරෙන්න කරන්න වෙනත් දෙයක් දන්නෙ නෑ. ඉතිං ඒ අයට වනජීවි මහත්තුරු පෙනෙන්නෙම තමන්ගෙ එදිරිවාදීන් පිරිසක් හැටියට තමයි”
කැලෑ ආශ්රිත ජීවත්වන ජනයා සමග සමීප සබඳතාවක් ඇති කර නොගෙන, ඔවුන්ගේ සුබ සිද්ධියට අත නොදී වන සම්පත හා වනජීවින් ආරක්ෂා කර ගැනීම අසීරු කාර්යයක් බැව් මනාව පැහැදිලිය. ලෝක බැංකුවේ අනුග්‍රහයෙන් යුතුව පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතිය විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව හරහා ඒ වෙනුවෙන් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන්නේ එබැවිනි.
බූන්දල ජාතික වනෝද්‍යානය ආශ්රිත ගම්මානයක් වන කෝවලාන ප්‍රදේශයේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රජා සංවර්ධන සමිතියක් පිහිටුවනු ලබයි. එහි නම “කෝවලාන වනජීවි ප්‍රජා සංවර්ධන සමිතියයි”. එහෙව් සමිතියක් මොකටද? මේ දකුණු කලාප වනජීවි කලාපයේ ජනවිහිදුම්කරණ නිලධාරි චානක විජේසේකර මහතාගේ හඬයි.
” වනජීවි නිලධාරීන් ලෙස අපි කාලයක් තිස්සේ වනජීවීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් හරිම ඒකාකාරී වැඩපිළිවෙළක් තමා අරගෙන ගියේ. ඊට වෙනස්ව මේ වගේ වැඩසටහන්වලින් තමා අපි ජනතාව අතරට ගියේ. අපි ඒ අයගේ හතුරෝ නෙවෙයි කියන එක භාවිතයෙන් ඔප්පු කළේ. ධීවර කටයුතු කරන අයට ඒක කරන්න නීතිමය රාමුව පැහැදිලි කරලා දුන්නා. උදේ හතේ සිට සවස 4 දක්වා පමණයි ධීවර කටයුතු කළ හැක්කෙ. රක්ෂිතයෙන් පානීය ජල අවශ්‍යතා සපුරා ගත් අයට ඒ මත යැපෙන්නෙ නැතිව පිරිසිදු පානීය ජලය ලබාගැනීමට අවස්ථාව උදාකර දීලා තියෙනවා. ඉදිරියේදී ළමා සමිති සමාගම් හරහා අනාගත පරපුරට මේ වනාන්තර, ගහ කොළ ආරක්ෂා කිරීමේ වැදගත්කම පෙන්වා දෙන්න කටයුතු කරමින් ඉන්නවා.”
මේ අනුව පවත්නා ප්‍රජා සංවර්ධන සමිතිය කෙරෙන්ද වනය, වන සතුන් ආරක්ෂා කිරීම වෙනුවෙන් සෘජුව හා වක්‍රව තවත් බොහෝ කටයුතු සිදුවෙයි. මේ සමිතියේ ලේකම් යූ. එස් තිලකරත්න මහතාගේ අදහසයි.
‘‘ අපි මේ සමිතියෙන් සාමාජිකයින්ට ලක්ෂ ගණනින් ණය දෙනවා. පොලිය අවුරුද්දටම සියයට එකයි. ණය ලබාදීමේ කොන්දේසි විදිහට පරිසරයට වන සතුන්ට හානි කිරීමේ චෝදනා නොතිබිය යුතු බව, එවැනි වරදකට දඬුවම් නොලැබ සිටිය යුතු ආදී කොන්දේසි දැක්වෙනවා. ඒ වගේම වනජීවි කාර්යාලයෙන් සංවිධානය කරන වෙරළ පිරිසිදු කිරීමේ ශ්‍රමදාන, පැළ සිටුවීමේ වැඩසටහන් ආදීයට සහභාගිවීම අත්‍යවශ්‍ය වෙනවා. ඒවායින් සාමූහිකව එකිනෙකා අතර ගොඩනැඟෙන සම්බන්ධතාව නිසා සුබවාදී පැත්තට ආකල්පමය වෙනසක් ඇති වෙනවා. ඉදිරියේදී අපි සමිතියේ සාමාජික අයගේ දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහනකුත් දියත් කරනවා. ප්රතිලාභ වැඩිවෙන්න වැඩිවෙන්න සාමාජිකත්වය වැඩිවෙනවා. සාමාජිකත්වය රැකගන්න කොන්දේසි රකින්න වෙනවා. එකට වැඩ කිරීමෙන් යහපත් ආකල්ප වැඩිදියුණුවෙලා සහයෝගය වැඩිවෙනවා.” හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
‘‘ අපට තිබුණු ලොකුම ප්රශ්නය තමා පිරිසිදු පානීය ජලය. කිරිඳි ඔය පිටාර ගැලූවම ගමේම ළිං වතුර මඩ පාටට හැරෙනවා. ජල සම්පාදනයෙන් දෙන වතුරත් ක්ලෝරින් දාලා පිරිසිදු කළා කීවට අව පාටයි. මෙහෙ කොහොමත් ළිං වතුර ලූණු ගතිය වැඩියි. ඒ නිසා වනජීවි සමිතියට ප්රතිපාදනයක් විදිහට ලැබුණු ජල ව්‍යාපෘතියෙන් පවුල් 500ක් විතර අද අපහසුවකින් තොරව ජල අවශ්‍යතාව පිරිමසා ගන්නවා.” එලෙස පවසා සිටියේ පානීය ජලය රැගෙන යාම සහා පැමිණ සිටි ප්‍රදේශයේ ගෘහණියක මෙන්ම සමිතියේ සාමාජිකාවක වන කේ. එල් කුලවතීය.
කොහොමද මේ ජලය පිරිසිදු වෙන්නේ? ඉකුත් අප්‍රේල් මස 05 වන දින මහජන අයිතියට නතුවූ ජල පවිත්‍රාගාරයේ ජල පාලක ලෙස කටයුතු කරන එච්.කේ චන්ද්‍රදාස මහතා පවසන්නේ මෙහෙව් කතාවකි.
‘‘ ඔය ළඟ තියෙන ළිඳෙන් පොම්ප කරන වතුර එළියෙ තියෙන ටැංකියට පිරෙනවා. ඒ ටැංකියෙන් එන වතුර මේ ෆිල්ටර් පද්ධතිය හරහා ඇවිත්, පිරිසිදු වතුර මේ ටැංකියට එකතු වෙනවා. ඒ ටැංකියෙන් මේ පොම්පය හරහා ලීටරයක් රුපියල් දෙක ගාණේ මං බෙදලා දෙනවා. මං පැය විසි හතරම වැඩ. කුලී වැඩකට දුරට යන අය ගෙදර එද්දී රෑ වෙනවා. ඉතිං වතුර ටිකක් ගන්න රෑ වෙලා ආවම නොදී කොහොමද?” චන්ද්‍රදාස මහතා අපෙන් විමසයි.
‘‘දැන් දැන් සුලූ ව්‍යාපාරයක් වශයෙන් ජලය විකුණන කෙනෙකුත් සාමාන්‍ය ගණනට වඩා වැඩි මුදලකට අපෙන් වතුර ඉල්ලනවා. වතුර ඕන තරම් තියෙනවා. සමහර මිනිස්සුන්ට දුර ඉඳන් ඇවිත් වතුර ගෙනියනවට වඩා ලීටරයකට තව රුපියලක් වැඩි පුර දීලා හරි ළඟට ගෙන්ව ගන්න බලනවා. මේ දේවල් ගැනත් අවධානය යොමුකරලා සමිතියේ සාකච්ඡා කරලා තීරණයක් ගන්නයි ඉන්නෙ. තවත් එක් කෙනෙකුට දෙන්නෙකුට හරි ජීවත් වෙන්න අතට කීයක් හරි ලැබෙයිනෙ” ඒ ‘ කෝවලාන වනජීවි ප්‍රජා සංවර්ධන සමිතියේ ’ සභාපති ජයසේකර නාඔටුන්න මහතාය.
රටටත් ලෝකයටත් ණය නොවී, තමන්ගේ එදිනෙදා අවශ්‍යතා සපුරා ගනිමින්, බූන්දල වනෝද්‍යානයත්, ගහ කොළත් ආරක්ෂා කරගැනීමට දුර දක්නා නුවණින් යුතුව කටයුතු කරන මෙහෙව් සැබවින්ම රටට සම්පතකි.
එම්.ඒ.පී.ආර් විජේබණ්ඩාර
(මව්බිම-03-09-2019)