ශ්‍රී ලංකාව තුළ සංචාරක ව්‍යාපාරයට ආර්ථික උපක්‍රමයක් ලෙස කෙතරම් වැදගත්කමක් හිමිව තිබුණද, එය එදිනෙදා ජනජීවිතය හා වඩාත් සමීප වන්නෙ වසර 2010න් පසුවය. 2009 වසරේ මැයි මාසය වනවිට රටේ පැවති සිවිල් යුද්ධය නිමාවීම එහි තීරණාත්මක හේතු සාධකය විය. 1983 සිට 2009 වසර දක්වා වසරකට ලක්ෂ 4ත් 6ත් අතර විදෙස් සංචාරකයින් ප්‍රමාණයක් වාර්ෂිකව පැමිණෙන විට 2010 සිට 2017 වන විට ලක්ෂ 20ක් දක්වා සංචාරක පැමිණීම වර්ධනය විය. එතෙක් රටේ ආර්ථිකයට සීමාන්තික දායකත්වයක් දැක්වූ සංචාරක කර්මාන්තය රටේ ප්‍රමුඛතම කර්මාන්තයක් දක්වා පුළුල් වන්නට විය. “හෝම් ස්ටේ” නමින් හඳුන්වන ගෘහ ආශ්රිත සංචාරක කර්මාන්තය බිහිවීමේ හා ප්‍රචලිතවීමේ පසුබිම මෙයයි.
ලෝක බැංකුව, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ඒකාබද්ධව ක්‍රියාවට නැංවෙන “පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතිය” මගින් ගෘහ ආශ්රිත සංචාරක කර්මාන්තය තුළින් ප්‍රදේශයේ ජනයාගේ ජීවනෝපාය ඉහළ නැංවීම සඳහා විවිධ වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබේ. ”හෝම් ස්ටේ” වෙනුවෙන් දිරිගැන්වීම එයින් එක් වැඩපිළිවෙළක් පමණි. පරිසර පද්ධති සංරක්ෂණය හා කළමනාකරණය හා ‘හෝම් ස්ටේ’ ප්‍රවර්ධනයට සහයදීම අතර පවත්නේ කෙබඳු සම්බන්ධයක්ද?
” රක්ෂිත ආශ්රිත ගම්මානවල ජීවත්වන ජනයා බොහෝ විට රක්ෂිතවලින් යැපෙන හෝ ඒ ආශ්රිත කර්මාන්තවල නියැලෙන අය. මේ අයගේ ඇතැම් බලපෑම් නිසා රක්ෂිතයන්ට යම් යම් හානි සිදුවෙන්නට පුළුවන්. අනෙක් අතට ජනතාවටත් පීඩාවෙන්න පුළුවන්. ඒ නිසාම මෙවන් ජනයා රක්ෂිත මත යැපීම අවම කරමින් ඔවුන්ගේ ජීවනෝපාය සංවර්ධනය කිරීමට දායකවීම තුළින් රක්ෂිතය ආරක්ෂා කර ගැනීමට ඔවුන්ගේ දායකත්වය වඩාත් ඵලදායි ලෙස යොදාගන්නට පුළුවන්. මේ අරමුණ පෙරදැරි කරගෙන තමා අපි ව්‍යාපෘතියක් විදිහට හෝම් ස්ටේ පවත්වාගෙන යාමට අතහිත දෙන්නේ” පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතියේ ජීවනෝපාය හා ප්‍රජාමූල සංවර්ධන විශේෂඥ ශිරාජ් මොරුගම මහතා පවසයි.
පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ වයාපෘතිය මගින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කුඩව කාර්යාලය හරහා සිංහරාජ රක්ෂිතය ආශ්රිත ගම්මානවල ජනයාගේ ජීවනෝපාය සංවර්ධනයට අදාළව ‘හොම්ස්ටේ’ අධාර ලැබූවන් කිහිප දෙනෙකි. කුඩව ගම්මානයේ පදිංචි ජී.රෝහණ වීරසේන මහතා තමාට ලැබුණු සහය පිළිබඳ සතුට පළ කරනු ලැබුවේ මේ අයුරිනි.
“මට මේ ගෙදර කාමරය සහ බාත්රූම් එක සංචාරකයින්ට වඩා සුව පහසු නවාතැනක් හැටියට හදාගන්න ලක්ෂ 10ක් විතර ගියා. එයින් ලක්ෂ 5ක්ම ලැබුණේ ව්‍යාපෘතියෙන් තමා. ඒක මට සෑහෙන උදව්වක්. සිංහරාජයේ ටුවරිස්ට්ලා හැටියට වැඩකරන අය ගොඩක් මං හොඳින් අඳුරනවා. වන සංරක්ෂණ කාර්යාලය තමා මට ඒ සම්බන්ධකම් හදලා දුන්නේ. ඒ නිසා මට පහසුවෙන් සංචාරකයින්ට නවාතැන් දීලා අතට කීයක් හරි ගන්නවා. මේ කැලේ අපට සම්පතක්. ඒක රැකුණොත් අපිත් රැකෙනවා. රටත් රැකෙනවා. ඒ නිසා රක්ෂිතය රැකගන්න අපි උපරිම සහය දෙනවා. ඒ වෙනුවෙන් වැඩ කරනවා” වීරසේන මහතා වැඩිදුරටත් කියා සිටියේය.
කුඩව ගම්මානයේම කේ.ඩී පියසේන මහතාද තම නිවසේ සංචාරකයින් වෙනුවෙන් හෝම්ස්ටේ පවත්වාගෙන යයි.
“එන සංචාරකයින් හැමෝම වගේ ඉල්ලන්නේ ගමේ සම්ප්‍රදායික කෑම. ඉතිං මං හැකි උපරිමයෙන් කෑමෙන් බීමෙන් ඒ අය සතුටු කරවනවා. මාසෙකට කණ්ඩායම් 5-6ක් විතර එනවා. මං ඇත්තටම රක්ෂිතය ගැන, ගම්මානයේ තොරතුරු ඒ අය එක්ක බෙදාහදා ගෙන මේ ව්‍යාපාරය සාර්ථකව කරගෙන යනවා. මේ ගමේ ගොඩාක් ඉන්නෙ කැලේ එක්ක ජීවත් වෙච්චි මිනිස්සු. ඉතිං ඒ අය කැලේ විනාශ කරගෙන ජීවත් වෙනවට වඩා කැලේ ආරක්ෂා කරගෙන ජීවත්වෙන විදිහට මේ ව්‍යාපෘතියෙන් පුරුදු පුහුණු කරන එක ගැන ගොඩාක් සතුටුයි. මට ව්‍යාපෘතියෙන් ලැබුණු ආධාර හා උපදෙස් නිසා තමයි මේ කටයුත්ත සාර්ථකව කරගෙන යන්න හැකිවෙලා තියෙන්නේ” පියසේන මහතා කියා සිටියේය.
පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතිය මගින් රක්ෂිතයට ප්‍රදේශවාසීන්ගෙන් සිදුවන අනිසි ක්රියාාකාරකම් පාලනය කරනු පිණිසත්, රක්ෂිතය රැකබලා ගනු සඳහා දිරිගන්වනු පිණිසත්, වන සංරක්ෂණ දෙපර්තමේන්තුව සමග සහයෝගීතාව ශක්තිමත් කරනු පිණිසත්, රක්ෂිත මත යැපීම් හා රක්ෂිතයට සිදුවිය හැකි බලපෑම් අවම කරනු පිණිසත් තවත් ක්‍රියාකාරකම් රැසක් සිදුකරනු ලබයි.
-එම්.ඒ.පී.ආර් විජේබණ්ඩාර