හුරුළු-කවුඩුල්ල -කන්තලේ (HKK) සඳහා සකස් කරන ලද භූ දර්ශන කළමනාකරණ සැලැස්ම තහවුරු කිරීමේ වැඩමුළුවක් 2020 ජනවාරි 23 වන දින රාජගිරිය, ශ්‍රී ජයවර්ධනපුර මාවත පිහිටි බැංකු විදුපියසේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම වැඩමුළුවට විශ්ව විද්‍යාල වෘත්තිකයන්, විවිධ ක්ෂේත්රවල තාක්ෂණික විශේෂඥයින්, රජයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ලෝක බැංකුවේ නියෝජිතයින්, මෙන්ම රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින් 70 දෙනෙක් පමණ සහභාගී වූහ.
පරිසර හා වනජීවී සම්පත් අමාත්‍යාංශය යටතේ පවත්නා ” පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතිය” මගින් වියළි කලාපයෙන් හා තෙත් කලාපයෙන් තෝරාගත් භූ අඩවි දෙකක් සඳහා භූ දර්ශන කළමනාකරණ සැලසුම් දෙකක් සකස් කර ක්‍රියාත්මක කිරීම සඳහා දිරිගැන්වීම මෙහි අරමුණ වී තිබිණි.
මෙය නියමු අභ්‍යාසයක් ලෙස හැඳින්විය හැකි අතර එමඟින් කර්තව්‍යයට සම්බන්ධ පාර්ශවකරුවන්ට ඉදිරි මග පෙන්වීම සහ අත්දැකීම් ලබා දෙනු ඇත. හුරුළු-කවුඩුල්ල -කන්තලේ (HKK) යනු භූ දර්ශනය තෝරාගත් පළමු නියමු ස්ථානය වන අතර වියළි කලාපයේ අනුරාධපුර, පොළොන්නරුව සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ප්‍රධාන කොටස් එමගින් ආවරණය කර තිබේ.
ඉහළ ජෛව විවිධත්වයක් සහිත සුළු ජල පෝෂක සංකීර්ණයකින් සමන්විත HKK භූ දර්ශන ප්‍රදේශයේ ප්‍රධාන ඔයවල් (Rivulets) 6 ක් පෝෂණය කරන අතර විවිධ පරිසර පද්ධති සේවා සපයයි. තිරසාර නොවන හා සැලසුම් නොකළ ඉඩම් පරිහරණ පිළිවෙත් හේතුවෙන්, එහි පාරිසරික බලපෑම් මෙන්ම ඉඩම් හායනය, පාංශු ඛාදනය, ජෛව විවිධත්වය නැතිවීම, පාරිසරික දූෂණය, දේශගුණික විපර්යාස සහ අලි – මිනිස් ගැටුම හේතුවෙන් අලි-මිනිස් යන දෙකොට්ඨාසයම මරණයට පත්වීම සිදුවෙයි.
මෙම සියලු තතු කෙරෙහි අවධානයට ලක්කරමින් ගැටුම් කළමනාකරණ සැලැස්ම සකස් කරනු ලැබුවේ ඉන්දියාව, නේපාලය, ටැන්සානියාව, භූතානය සහ තවත් බොහෝ රටවල ජාත්‍යන්තර අත්දැකීම් සහිත ඉන්දියාවේ විශේෂඥයෙකු විසින් මෙහෙයවනු ලැබූ විවිධ විෂයයන් පිළිබඳ විශේෂඥ දැනුමක් සහිත කණ්ඩායමක් විසිනි. සැලසුම් ක්‍රියාවලියේදී පාර්ශ්වකරුවන්, විශේෂඥයින්යින් , ප්‍රාදේශීය ප්‍රජාවන්, ප්‍රජා සංවිධාන, සහ රාජ්‍ය නොවන සංවිධාන විශාල සංඛ්‍යාවකගෙන් උපදෙස් හා දායකත්වය ලබාගෙන තිබේ.
පරිසර පද්ධති සේවා වැඩිදියුණු කිරීම මෙන්ම මුඩු ඉඩම් යථා තත්ත්වයට පත් කිරීම සඳහා වෙනත් රටවල පුළුල් ලෙස අනුගමනය කරන ලද මෙම නව භූ දර්ශන සැලසුම් ප්‍රවේශය පිළිබඳ දැනුම හා අත්දැකීම් ලබා ගැනීම සඳහා සිදු කරන ලද නියමු අභ්‍යාසයක් ලෙස මෙය සැලකිය හැකිය. මෙම ප්‍රදේශ සඳහා යෝජිත ජාතික වශයෙන් වැදගත් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා මග පෙන්වීම සපයන ක්රමානුකූල ඉඩම් පරිහරණ සැලසුම් ද එමඟින් ආවරණය කර තිබේ.
මෙම භූ දර්ශන කළමනාකරණ සැලැස්ම පරිසර වනජීවී සම්පත් අමාත්‍යාංශය හරහා රජයට ඉදිරිපත් කොට ප්‍රතිපත්තියක් ලෙස අනුමැතියක් ලබා සියලු පාර්ශවකරුවන් හරහා භූ දර්ශන සැලසුම ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරෙයි.